Friday 8 June 2018

  පැහැදිලි රූ සපුවක් ලබා දීම ආලේපනයකට කළ හැකි ද? 

        ලස්සනට අපි කවුරුත් කැමැත්තක් දක්වනවා . ලස්සන දෙයකට අපේ නෙත් සිත් ඉතාමත් ඉක්මනින් ආකර්ෂණය වීම නිරායාසයෙන් සිදු වන්නකි . ලස්සන ප්‍රසන්න යම් දෙයක් වේද කවුරුත් ඒ කෙරෙහි කැමැත්තක් දක්වයි . සුන්දර ප්‍රියජනක දේ අප ඉතා කැමැත්තෙන් වැළද ගනියි . සෑම සත්වයෙකුටම ඔවුන්ට ආවේණික වු ලස්සනක් , ප්‍රසන්න බවක් දැක ගත හැකිය .  මිනිසා ද එසේමය . ස්ත්‍රි , පුරුෂ දෙපිරිසටම ඔවුන්ට ආවේණික වු ලස්සනක් පැහැදිලි ප්‍රසන්න බවක් උරුම වී තිබේ . සෑම සත්වයෙකුටම ස්වභාවික ලස්සනක් උපතින්ම උරුම වී තිබේන අතර එය අඩු වැඩි කර ගැනීම තම තමන් විසින්ම සිදු කර ගනියි .
       මානවයා  ස්ත්‍රි , පුරුෂ වශයෙන් කොටස් දෙකකින් යුක්ත වන අතර එයින් ස්ත්‍රි පාර්ශවය තමන්ගේ රූ සපුව පිළිබදව බෙහෙවින් සැළකිල්ලක් දක්වයි . ඈත අතීතයේ සිටම කාන්තාවන් කාගෙත් සිත් දිනාගත් ප්‍රිය උපදවන තැනැත්තියක බව කවුරුත් දන්නා කරුණකි . පුරුෂ පක්ෂයට වඩා කාන්තාවන් තමන්ගේ ශරිරයේ ලස්සන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි .
       සැබැවින්ම කාන්තාවකගේ මෙන්ම පුරුෂ පක්ෂය ද තමන්ගේ සුන්දරත්වය පවත්වා ගෙන යන්නේ කෙසේද නැතහොත් සැබැ ලස්සන සුන්දර බව රැක ගන්නේ කෙසේද යන්න පිළිබදව සාකච්ජාවට භාජනය කිරිමට අදහස් කරමි.
      සෑම පුද්ගලයෙකුටම තමන්ට උපතින් උරුම වු ලස්සනක් සුන්දරත්වයක් පවති . එම සුන්දර බව ලස්සන කෘතිම වු ආලේපන වර්ග භාවිත කිරිමෙන් විරූපි කර ගත් කාන්තාවන් වත්මන් සමාජයේදී අපට දැක ගැනිමට ලැබෙයි. විශේෂයෙන් වයිටිනින් ක්‍රිම් තම ශරිරයේ ආලේප කිරිමෙන් පැහැපත් බව ලබා ගැනිමට වත්මන් කාන්තාවන් යොමු වන ප්‍රමාණය ඉතාමත් අධික ය . ඒ සදහා වෙළදපල තුළ ද විවිධ නම් යොදා ගනිමින් ඉදිරිපත් කරන ආලේපන වර්ග බොහොමයක් දැක ගත හැකිය .  විවිධ ක්‍රිම් වර්ග වලට අමතරව උදේ සවස බොන බෙහෙත් වර්ග ද වෙළදසැල් වල දක්නට ලැබෙන දෙයකි .
 මිනිසුන්ට තම තමන්ට උපතින් උරුම වු ශරිර වර්ණය ඒ ඒ දේශගුණයන්ට අනුව ස්වභාවිකව නිර්මාණය වී තිබේ . විවිධ දේශගුණික තත්වයන් අනුව ශරිර වර්ණයේ අඩු වැඩි බවක් දැක ගත හැකිය . බොහෝ විට කාන්තාවන් මෙම තත්වය අමතක කර තමන්ගේ සම සුදු කර ගැනිමට විවිධ ආලේපන වර්ග එදිනෙදා භාවිත කිරිමට පෙළඹ සිටියි . මේ සදහා විශේෂයෙන් ජනමාධ්‍යයන් මගින් ඇති කරන පෙළඹවීම ඉතාමත් ඉහළ තත්වයක පවතියි. ජායාරූප ඉදිරිපත් කරමින් ශරිරයේ පැහැපත් බව අඩු වැඩි වන ආකාරය දක්වමින් විවිධ ආලේපන වර්ග හදුන්වා දීම සිදු වේ .



       අතිතයේ දි කාන්තාවන් තමන්ගේ රූ සපුව පිළිබදව විශේෂ උනන්දුවක් දැක්වුයේ නැත . ඔවුන් වස විසෙන් තොර එළවළු , පළතුරු සහ පලා වර්ග ආහාරයට ගත්හ . එදිනෙදා තමන්ට අවශ්‍ය ආහාර කෘතිම රසායනික දාව්‍යවලින් තොරව තම ගෙවත්තෙන්ම ලබා ගැනිමට ඔවුන් පුරුදු වී සිටියහ.
       රස ගුණ පිරි ආහාර එදිනෙදා පරිබොජනය සදහා යොදා ගත් අතර ගෙදර දොර වැඩ කටයුතු කිරිමෙන් ශරිරයේ හැඩය පවත්වා ගැනිමට ඔවුන් වග බලා ගත්හ .
  කාන්තාව වනාහි පංච කල්‍යානයෙන් අංග සම්පුර්ණ විය යුතු බවට ප්‍රකට කියමනක් තිබේ . අතිතයේදි කාන්තාවන් ඉතාමත් සතුටින් කාලය ගත කළහ. සතුටින් සිටිම තුළින්  නීරෝගි බවටත් සිරුරේ අලංකාරය රැකගැනිමටත් එය හේතු විය . ඔවුන්ගේ දිවිපෙවත ඉතාමත් සරලය .සිතේ වෛරය ,ක්‍රෝධය ඊර්ෂයාව නොමැතිව මෛත්‍රි සිතින් ක්‍රියා කළහ . ආගම දහමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් නිදහසේ සතුටින් ජිවත් වීමට කටයුතු කිරිම ද මෙහිදි ඉතා වැදගත් වේ .
      මිනිසාගේ සැබැ ලස්සන පවතින්නේ ශරිරයේ නොව තමන්ගේ සිතේ බව ඉතාමත් ප්‍රකට කියමනකි . හදවත ලස්සනට තිබේ නම් නිරායාසයෙන්ම තමන්ගේ ශරිරය ද ලස්ස්න වන බව මෙයින් අදහස් වේ. එය ඉතාමත් නිවැරදි අදහසක් වන්නේ වත්මන් සමාජයේ පුරුෂ පක්ෂය සේම කාන්තාවන් ද සමාජ සැඩපහරට හසුව අවිවේකයෙන් කටයුතු කිරිමය . එමගින් ඔවුන්ගේ පීඩාකාරි බව නිසා සිතේ පවතින නොසන්සුන් ගතියත් එකිනෙකා පරයා නැගී සිටිමේ සිතුවිල්ලත් නිසා බොහෝ කාන්තාවන් කෘතිම ආලේපනයන්ට ගොදුරු විම අනාගත මානව පරිණාමනය කෙරෙහි බලපෑමක් නොවන්නේ ද යන්න සිතා බැලිය යුත්තකි .

No comments:

Post a Comment